POSTED BY: රාවය JANUARY 26, 2019

සංවාදය- ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

රට බෙදීම සඳහා ප්‍රභාකරන් අවි ආයුධ මගින් ගෙන ගිය සටන දෙමළ ජාතික සන්ධානය විසින් දේශපාලනිකව කරගෙන යන බව ඒකාබද්ධ විපක්ෂය නිතර චෝදනා කරනවා. ඒ ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?

අමූලික බොරුවක්. අපේ සටන දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් සොයන්න ඕනේ කියන සටනක්. ඒකේ මූලික ප්‍රතිපත්තිය නොබෙදුණු රට තුළ බලය බෙදීමක් සිදු වෙන්න ඕනේ කියන දෙයයි. ඒ නිසා රට බෙදනවා කියන කාරණය අමූලික බොරුවක්. අවුරුදු 10කට පෙරත් අවුරුදු 10කට පසුවත් අපේ ස්ථාවරය එයයි. පසුගිය මැතිවරණ වලදී අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල උපරිම වශයෙන් බලය බෙදන්න කියලා අපි ඉල්ලා තිබෙනවා. එය සිදු විය යුත්තේ එක රටක් තුළයි.

පසුගිය කාල පරිඡේදය තුළදී රනිල් වික්‍රමසිංහට දෙමළ ජාතික සන්ධානය උදව් කළේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහාද?

අපි ඒක කළේ ප්‍රතිපත්තිමය වශයෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතියයි. ඒ සටන අවස්ථාවේදී එජාපයට පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරුන් 113කගේ කැමැත්ත තිබිය යුතුව තිබුණා. ඒ අවස්ථාවේදී මෙහෙම ගියහොත් රටට හොඳ නැහැ කියා අපි කල්පනා කළා. රට ස්ථාවරව පවත්වාගෙන යාමට කළ යුතු දේ සම්බන්ධයෙන් උත්තරය තිබුණේ අප සන්ධානයටයි. ඔක්තෝබර් 26ට පෙර සිටි අගමැතිවරයාට සහයෝගය ලබාදිය යුතුයි කියා අපි කල්පනා කළා. ජනාධිපතිවරයා නීතියට විරුද්ධව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර තිබුණු නිසා ඔක්තෝබර් 26ට පෙර සිටි අගමැතිවරයා පත්කරගෙන රට ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට අපි කටයුතු කළා. එය රනිල් වික්‍රමසිංහට සහය දෙන්න ගන්නා ලද තීරණයක් නොවේ. ඒ තුළින් දේශපාලන වාසි ලබා ගැනීමට අප බලාපොරොත්තු වුණේ නැහැ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂටත් සහය දක්වන ලෙස ඔබ ඉල්ලීමක් කර තිබුණා. එසේ කළේ ඇයි?

ඔව්. ඉල්ලීමක් කළ බව සත්‍යක්. ඊට හේතුව මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කරද්දී ්ඡඍක්‍ කියලා සර්ව පාක්ෂික කමිටුවක් පත් කර දෙමළ ජනතාවට විසඳුමක් දීමට යෝජනා මාලාවක් හැදුවා. එතුමාම පිළිගත්තා දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ඕනේ කියලා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ගේන්න ඕනේ කියලා එතුමා පිළිගත්තා.

2016 මාර්තු 9 වැනිදා පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් සම්මත වුණා. ඒකට මන්ත්‍රීවරු කිසි කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. ඒ යෝජනාව තුළින් තමයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැදීමට කටයුතු කළේ. ඒකට කමිටු පත් කළා. ඒවා ස්ථාවර කමිටු සහ උප කමිටු වශයෙන් පත්කර ගනු ලැබුවා. උප කමිටුවේ සභාපති වුණේ බන්දුල ගුණවර්ධන. ස්ථාවර කමිටු වාර 81ක් ඒ සම්බන්ධයෙන් පැවතුණා. ඒ සියලු රැස්වීම් වලට ඒකාබද්ධ විපක්ෂයේ අයත් ආවා.

ඒ ක්‍රියාවලියට මෙතෙක් ඇවිල්ලා ඔවුන් දැන් කියා සිටින්නේ මේවා ඕනේ නැහැ, ඒක පිළිගන්න බැහැ කියලයි. එයාලා දේශපාලන විසඳුමක් දෙන්න ඕනේ කියලා ක්‍රියාවලියකට ආවා වගේ ඉදිරියටත් ඒ ක්‍රියාවලිය තුළ සිටිමින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාදා බලය බෙදීමකට සහය දෙන්න කියා අප ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. එම ආරාධනාව තමයි මම කරලා තිබුණේ.

මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කිරීම තුළ ඔහු සමඟ බේරා ගතයුතු ගනුදෙනුවක් දෙමළ ජාතික සන්ධානයට තිබෙනවාද?

නැහැ. යුද්ධයකදී ඇති වුණ දේවල් ගැන ප්‍රශ්න කිහිපයක් ගොඩනැගිලා තිබෙනවා. ඒක ජාත්‍යන්තරයටත් ගිහින් තියෙන්නේ. ඒ ගැන වගවීමක් අවශ්‍යයි. පුද්ගලිකව මහින්ද රාජපක්ෂ ගැන වෛරයක් අප ළඟ නැහැ. යුද්ධයේදී සිදු වු දේ ගැන ඇත්ත හෙළි කරන්න ඕනේ. ඉන් පසුව තමයි කවුද එම සිද්ධි වලට වග කියන්න ඕනේ කියන ප්‍රශ්නය එන්නේ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත තවම සකස් කරලා නැහැ කියා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එසේ තිබියදී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම කඩිනමින් සිදු කළ හැකිද?
අපි 2016දී පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාව අනුව මෙහෙයුම් කමිටුව විසින් තවම කෙටුම්පත් සකස් කරලා නැහැ. දැන් තිබෙන්නේ විශේෂඥ කමිටු වාර්තාවක්. එතැනත් දළ කෙටුම්පතක් සකස් කර තිබෙනවා. ඒක මුල් කරගෙන අපිට සතියකින් හෝ දෙකකින් හෝ අවසාන කෙටුම්පතක් හදන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ දැන් ඒක ඉවර කරන්න පුළුවන් කියලා.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. කෙටුම්පත සහ විශේෂඥ වාර්තාව අතර තිබෙන සම්බන්ධය කුමක්ද? එවැනි වාර්තාවක් කෙටුම් පතට පෙර ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වුණේ කුමක්ද?

අතුරු වාර්තාවක් 2017 සැප්තැම්බර් 23 වැනිදා ඉදිරිපත් කරලා තිබුණා. අතුරු වාර්තාව සහ අනු කමිටු 6ක වාර්තාත් අරගෙන විශේෂඥයන්ගේ කෙටුම්පතක් හැදුවේ. මෙය කෙටුම්පතක දළ සැලැස්මක්. පාර්ලිමේන්තුවේ ස්ථාවර කමිටුව තවමත් කෙටුම්පතක් හදලා නැහැ. විශේෂඥයන් හදන ලද වාර්තාව රට පුරා වාද විවාද කරන්න පුළුවන්. ඉන්පසු කෙටුම්පත හදන එක හොඳයි කියලා අපි කියා සිටියා.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ පුරෝගාමියා ලෙසත් එක්සත් ජාතික පෙරමුණු රජයේ රිමෝට් කන්ට්‍රෝලය බවටත්, ඔබ පත්ව තිබෙන බව කියවෙනවා. 

ඒක අසත්‍යයක්. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කොට සම්මත කර ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන්නේ පාර්ලිමේන්තුවේ මෙහෙයුම් කමිටුව. මෙහෙහුම් කමිටුව තමයි තීරණය කළේ මේ වාර්තාව හදන්න. ඒ ක්‍රියාවලිය තුළ කටයුතු කරන්න. මෙහෙයුම් කමිටුවට සාමාජිකයෝ 21 දෙනකු සිටිනවා.

මම එජාප රිමෝට් කන්ට්‍රෝල් කියන එක අසත්‍යයක්. අපි එජාප ආණ්ඩුවක් හදන්න සහය දුන්නා කියන එක ඇත්ත. අපි කිසිම කොන්දේසියක් ඉදිරිපත් කළේ නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටුණු නිසා ඒක ගොඩ නගන්න අපි කටයුතු කළා. දැන් එජාපයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ. ඒ නිසා එ.ජා. පක්ෂයට සාමාන්‍ය පනතක් හරි සම්මත කර ගැනීමට අපේ සහය ඕනේ. හොඳ දේවල් වලට අපි සහය දෙනවා. වැරදි දේවල් වලට විරුද්ධ වෙනවා. අපි එ.ජා.පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක වෙන්න යන්නේ නැහැ.

දෙමළ ජාතික සන්ධානය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් බලාපොරොත්තු වන්නේ කවර ආකාරයක දේශපාලන විසඳුමක්ද?

අපේ ප්‍රදේශ වලම ඒ ඒ තීන්දු ගන්න ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. කොළඹ තියෙන මධ්‍යම ආණ්ඩුව ගත්ත තීරණ එහාට ගෙන ඒමට අපි විරුද්ධයි. බලය බෙදීම තුළින් සෑම පළාතකටම එම තත්ත්වය දිය යුතුයි. යම් විෂයන් කිහිපයකට හෝ බලය පළාත් සභාවලට දෙන්න ඕනේ. සියලු දේම මධ්‍යම ආණ්ඩුව හරහා එන්න ඕනේ නැහැ. ඒක උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පමණක් නොවේ සියලු පළාත් වලට බලය බෙදීමක් අවශ්‍යයි.

උතුරට ෆෙඩරල් දේශපාලන විසඳුමක් ලබා දුන්නොත් එය දිගු කාලීන වශයෙන් රට බෙදී යාමට ඉඩකඩ තිබෙන බවට බියක් දකුණේ ජනතාව තුළ තිබෙනවා. 

බියක් තිබෙනවා. ඒ නිසා තමයි අපි සම්පූර්ණ ෆෙඩරල් තත්ත්වයක් ඉල්ලන්නේ නැත්තේ. ෆෙඩරල් තත්ත්වයක් අපි නොවෙයි ආරම්භයේදී ඉල්ලා සිටියේ. ඒ බව කියා සිටියේ උඩරට ප්‍රධානීන්, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක වැනි අය. ලෝකය දිහා බැලුවාම ස්ථාවර ආණ්ඩු බලවත්ව තිබෙන්නේ ෆෙඩරල් ක්‍රමය නිසා. ඇමරිකාව, කැනඩාව, ඕස්ටේ්‍රලියාවේ එවැනි තත්ත්වයක් තියෙනවා. ඉන්දියාවේත් ෆෙඩරල් නැතුවත් බලය බෙදීමක් තියනවා. චීනයේත් යම් ආකාරයක ෆෙඩරල් තත්ත්වයක් තියනවා. ෆෙඩරල් ක්‍රමයකින් තවදුරටත් රට කැඩෙන්නේ නැහැ. අපි පූර්ණ ෆෙඩරල් තත්ත්වයක් ඉල්ලන්නේ නැහැ. ප්‍රායෝගිකව බලය බෙදීමක් ගෙන ආවොත් ඒක නැවත ගන්න බැහැ. ඒක නැවත ගන්නා ආකාරයේ බලය දීලා වැඩක් නැහැ.
දිවි නැඟුම පනතින් පළාත් 15ක තිබුණ බලය මධ්‍යම ආණ්ඩුව ගත්තා. ඒ ඒ පළාත්වල ලබාදුන් බලය පවතින්න ඕනේ. කොහොම බැලුවත් ෆෙඩරල් ක්‍රමයකින් රට බෙදෙන්නේ නැහැ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට දෙමළ ජාතික සන්ධානය දැඩි උනන්දුවක් දැක්වුවත් උතුරේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා රජයට දැඩි බලපෑමක් කිරීමට උනන්දු නොවන බවට චෝදනා එල්ල වෙනවා. ඒ ගැන කියන්නේ කුමක්ද?

පළාත් සභා ඡන්දය ගැන අපේ ස්ථාවරය දැන් තියෙන තත්ත්වය උඩ පරණ ක්‍රමයට වහාම ගිහිල්ලා වහාම ඡන්දය තියන්න ඕනේ කියන එක ගැනයි. නීති පැත්තෙන් බාධා තිබෙනවා. පරණ ක්‍රමයට යන්න විරුද්ධ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒත් දැනට (ජනවාරි 21) සති දෙකකට පෙර ඔවුනුත් පරණ ක්‍රමයට පළාත් සභා මැතිවරණය තියන්න කියා කියලා තිබෙනවා. දැන් අපි ආණ්ඩුවට කියන්නේ තවත් ඇදගෙන යන්න එපා. පරණ ක්‍රමයට පළාත් සභා ඡන්දය ඉක්මනින් තියන්න කියලයි.

පසුගිය වසර 4ක කාලය පුරා උතුරේ ජනතාවගේ ප්‍රධාන ගැටලු විසඳීම සඳහා රජය ගෙන තිබෙන පියවර ගැන සෑහීමකට පත් වෙනවාද? මෙතෙක් විසඳුම් නොලැබී තිබෙන උතුරේ ජනතාවගේ ප්‍රධාන ගැටලු මොනවාද?

අපි සෑහීමකට පත් වන්නේ නැහැ. දැනට කර තිබෙන ප්‍රමාණයට වඩා දස ගුණයකින් කරන්න මේ අවුරුදු හතරේදී අවස්ථාව තිබුණා. ඒත ආණ්ඩුව කළේ නැහැ. උතුරේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය දේශපාලන විසඳුම පිළිබඳ ප්‍රශ්නයයි. ඒක දකුණේත් පිළිගන්නා ලද ප්‍රශ්නයක්. අපේ ජනතාව නිකම් යුද්ධයක් කළේ නැහැ. ඒ අයට ඒකට හේතු තිබුණා. ඒක තමයි මූලික ප්‍රශ්නය.
ඊට අමතරව යුද්ධයෙන් පසුව ඇති වූ ඉඩම් ප්‍රශ්නය. හමුදාව භාරයේ තියෙන පුද්ගලික ඉඩම් නිදහස් කිරීම අවශ්‍ය වෙනවා. දේශපාලන සිරකරුවන් භාගයක් පමණ නිදහස් කර තිබෙනවා. ඉතිරි භාගයත් නිදහස් කළ යුතුයි. අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නයක්ද තියෙනවා. අතුරුදහන් වූවන්ට මොකද වුණේ කියලා සොයන්න ඕනේ. තරුණ අයට රැකියා ප්‍රශ්න තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. යුද්ධයට පසුව සිදුවූ සංවර්ධන කටයුතු වලදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. අලුත් රැකියා සම්පාදනය කිරීමක් අවශ්‍ය වෙනවා.

උතුරු පළාතට දෙමළ ජාතික ආණ්ඩුකාරවරයකු ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා. එම පත්කිරීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ මතය කුමක්ද?

ඒක අපි හොඳ දෙයක් ලෙස පිළිගන්නවා. දෙමළ ජාතික ආණ්ඩුකාරවරයකු පළමු වතාවට පත්කර තිබෙනවා. ආණ්ඩුකාරවරයා පත් කිරීමට පෙර ජනාධිපතිවරයා අපි සමඟ සාකච්ඡා කළේ නැහැ. ඊට පෙර පලිහක්කාර මහතා, රෙජිනෝල්ඞ් මහතා පත් කිරීමේදී අපිත් එක්ක ජනාධිපතිවරයා සාකච්ඡා කළා. එහෙත් මෙවර ඒ දේ කළේ නැහැ. කෙසේ වුවත් දෙමළ ජාතිකයකු එම තනතුරට පත් කිරීම අපි පිළිගන්නවා.

උතුරු පළාතේ ඉදිරියටත් දේශපාලන කටයුතු කිරීම සඳහා උතුරේ බිහිවු නව දේශපාලන බලවේග තුළින් දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් එල්ල වී තිබෙනවාද? උතුරේ ජනතා අභිලාෂයන් දිනා ගැනීමට ඔබ සන්ධානය අපොහොසත් වූ බවටද චෝදනා එල්ල වෙනවා. ඒ ගැන කිව හැක්කේ කුමක්ද?

ඒ චෝදනාවත් අපි රට බෙදන්න හදනවා කියන දකුණේ චෝදනාවත් යන දෙකම බොරු. දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන්න අපි දැඩි උත්සාහයක යෙදී සිටිනවා. වසර 70ක් මුළුල්ලේ නියන ප්‍රශ්න එක පාරටම විසඳන්න බැහැ. අවුරුදු 30ක් යුද්ධයක් තිබුණා. දෙමළ ජනතාවගේ අභිලාෂයන් විසඳීම වෙනුවෙන් අපි කටයුතු කරනවා. දෙමළ ජනතාවගේ පමණක් නොව සිංහල, දෙමළ, මුස්ලිම් කියන මේ සියලු ජනතාවගේ ප්‍රශ්නවලට පිළිගන්න පුළුවන් වන සමාජ ගිවිසුමක් ලෙස සැලකිය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ වගේ එකක් හදන්න තමයි අපි සහය දෙන්නේ.

විiුත් හා මුද්‍රිත මාධ්‍ය දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශ අවභාවිත කරමින් දේශපාලන අරමුණු මත යොදා ගන්නා බව ඔබ චෝදනා කර තිබුණා නේද? එවැනි ක්‍රියාවල නියැලුණු මාධ්‍ය ආයතන වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔබ සන්ධානය අපෙක්ෂා කරනවාද?

මම පසුගිය ජනවාරි 12 වැනිදා යාපනයේදී මිනිත්තු 8ක් වැනි කාලයකදී කතා කළ අවස්ථාවේදී ඊළාම් රාජ්‍ය, ඊළාම් සිහිනය අත්හරින්න කියලා කිව්වා. අපි එහෙම කිව්වාට වැඩක් නැහැ. රට බෙදන්න කියන උත්සාහය යැයි සිතන එක අත්හරින්න ඕනේ කියා කියන ලද එක අරගෙන, මම රට බෙදන්න කිව්වා කියලා දකුණේ සිංහල මාධ්‍ය ප්‍රචාරය කරනවා. දෙමළ මාධ්‍ය කරන්නේ වෙනත් දෙයක්. ඒ අය චෝදනා කරනවා අපි දෙමළ ජනතාවගේ අභිලාෂයන් ගැන කටයුතු කරන්නේ නැහැ කියලා.

දෙමළ ජාතික අන්තවාදීන්, ගෙනල්ලා අපිට විරුද්ධව කතා කරවනවා. දෙමළ මාධ්‍ය තුළින් 80%ක් එහෙම අයට තමයි වැඩසටහන්වලට ගන්නේ. මම මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ කෙනෙක්. රට බෙදනවා කියන ක්‍රියාවලියක් සඳහා මාධ්‍ය නිදහස භාවිත කරනවා නම් ඒ සම්බන්ධයෙන් මම ඉදිරියේදී පියවර කිහිපයක් ගන්නවා.

Source: http://ravaya.lk/?p=174170